ශ්‍රීලනිප ප්රමුඛ නව සන්ධාන බදුලු රැලියේ දී අලුත් අපේක්ෂකයකු ගැන ඉඟියක් !!
ජූලි 14 ඉරිදා සුවිශේෂීය, ජනාධිපතිවරණයට කඳවුරු බැඳගෙන ඉන්න හැමෝම වාගේ රැස්වීම් පැවැත්වීමට මේ දිනය තෝරාගෙන තිබුනේ ළඟ ළඟම එන ජනාධිපතිවරණයට හයිය පෙන්වීමේ පසුබිම ගොඩනැගීම ඉලක්ක කර ගෙන ය.
පොහොට්ටුව දිවුලපිටියේ, මාලිමාව මිනුවන්ගොඩ, පොහොට්ටුවේ රනිල් පාර්ශවය මහනුවර, චම්පික රණවකගේ පක්ෂය මහරගම මහජන රැස්වීම් පවත්වද්දී කාගේ කාගේත් ඇස යොමු වුනු රැස්වීම පැවතියේ බදුල්ලේ ය. ඒ ශ්‍රිලනිප ප්‍රධාන නව සන්ධානයේ රැස්වීමයි.
මේ කාලයේ දේශපාලන පක්ෂ වල රැස්වීම් වලට කවුරුත් සෙනඟ ගෙන්නේ බස් යොදවලා ය. එහෙම නැතිව රැස්වීම් වලට දේශපාලන ගාය නිසා මිනිස්සු ආපු යුගය දැන් අයිති වන්නේ ඉතිහාසයට ය. පක්ෂ රැස්වීමකට එන සෙනග ප්‍රමාණය මේ කාලයේ අදාළ පක්ෂය දරන වියදමට සමානුපාතික ය. දැන් අලුත්ම සෙල්ලම වන්නේ විශාල බස් රථ සංඛ්‍යාවක් යෙදවීම ය. ඉස්සර මෙන් සෙනග දෙදහක් ගෙන්වන්නට බස් රථ හතලිහක් යොදවා එක බස් එකකින් පනස් දෙනෙක් එනවා කියා හිත හදාගන්න කිසිම දේශපාලන පක්ෂයකට බැරිය. බස් එකේ පනහක් ආවා නැතා බස් රථ දෙසීයක් තුන්සියයක් නොව පන්සියයක් දාහක් පවා ඒ ඒ පක්ෂයේ මුදල් හැකියාව මත යෙදවීම දැන් සිරිතයි.
උදාහරණයක් ලෙස පසුගිය මැයි දින මාලිමාව මාතර කළ රැලියට සෙනග ගෙන ඒමට බස්රථ 1070 ක් යොදවා තිබිණ.
ඉතින් එලෙස බැලුවද මාලිමාවට, සජිත්ට පැවතුන ජනතා රැල්ල දැන් පොහොට්ටුවටද විශේෂයෙන්ම ශ්‍රිලනිප සන්ධානය ට ද පවතින වාතාවරණය යැයි කීමේ වරදක් නැත්තේ රැස්වීම් වල ජන සහභාගීත්වය ඒක මනින මිම්ම ලෙස සලකා බැලුවොත්ය.
මාලිමාව, සජබ රැස්වීම් කොහොමටත් පවත්වන්නේ ඒවායේ දැනටත් නම් කර ඇති ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙනුවෙන් වුවත් පොහොට්ටුව සහ ශ්‍රිලනිප නව සන්ධාන මහජන රැලි වල එලෙස නිශ්චිත අපේක්ෂකයෙකුට සහය දෙන බව මෙතෙක් කියැවී නැත. ඒ වේදිකා ද්විත්වයේම රනිල් වික්‍රමසිංහ නම කියැවුනාට තවම ඔහු ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා යැයි කීමට ඒවායේ නායකයෝ, කථිකයෝ ඉක්මන් වී නැත.
විශේෂයෙන්ම මේ මොහොතේ ජනාධිපතිවරණය තුන් කොන් සටනක්ද සිව් කොන් සටනක්ද යන්න තීරණය කරවන ප්‍රධානම සාධකය වන ශ්‍රිලනිප නව සන්ධානයේ මහින්ද අමරවීර මෙන්ම දුමින්ද දිසානායක බදුල්ලේදී අදහස් දැක් වූයේ හතරවන අපේක්ෂකයකු ගැන ඉඟියක් රටට ලබා දෙමිනි.
ජන සහභාගීත්වය අතින් කුඩා වුවත් වෙන්න ජනපති නමක් වන පාඨලී ගේ මහරගම රැලියේදී ද අර පෙර කිවූ නව සන්ධානයේ මතය හා සමගාමී කථාවක් පාඨලී හරහා කියැවී තිබුණි. ඔහුට අනුව ද අනුර, රනිල්, සජිත් ජනාධිපතිවරණයට ආවද තවත් පාර්ශවයක් තීරණාත්මකව ඉදිරි දින කීපය තුළ කරලියට ඒමට නියමිතය.
නීතිය අනුව ලබන 17 වනදා සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් විය හැකි අතරම ඒ තීරණාත්මක මොහොත එළඹෙන විට රටේ දේශපාලන සිතියමේ ද සැලකිය යුතු පෙරලි ඇති විය හැකි බවට ඉඟි බිඟි 14 වනදා වේදිකා වල පල වූ බවට ඉතිහාසය ට සාක්ෂි ලෙස ඉතිරි වනු ඇත.