සජබයට රටේ අනාගතය සහ ජනතාවගේ තාර්කික අනාගත අභිලාෂයන් ඉටු කළ හැකිද?

සජබයට රටේ අනාගතය සහ ජනතාවගේ තාර්කික අනාගත අභිලාෂයන් ඉටු කළ හැකිද?

ජන අරගලය ඇරඹුනේ මෙරට පාලකයන් පිළිබඳ මෙරට ජනතාවගේ ඉවසීම පූර්ණ ලෙස කඩා වැටුන නිසාය. අරගලය නිසා රටේ ජනාධිපතිවරයාට සිය අත්හැර දමා පලා යන්නට සිදුවුනේය. සාමාන්‍යයෙන් මෙවැනි අත්දැකීම් පාලකයන්ට අත්වන්නේ පාලකයන්ගේ දරදඬු පීඩක පාලනය හේතු කොට ගෙනය. ඉරානයේ ෂා රජතුමන්, පිලිපීනයේ මාකෝස් මේ සඳහා වන කදිම උදාහරණ වන්නේය. නමුත් ලංකාවේ ගෝඨාභයට ජනාධිපතිකම අතහැරීමට සිදුවුණේ ඔහුට රට පාලනය කල නොහැකි යයි රටේ ජනතාව විශ්වාස කල නිසාය. තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම් ගෝටාගේ නොහැකියාව තහවුරු කළේය. අරගලයේ ආරම්භයේ සිටම මෙරට දේශපාලන න්‍යාය පත්‍රයට පළමු වරට රටේ ජනතාව විසින් අවධාරණය කරනු ලැබු කරුණක් වූයේ රට පාලනය කිරීමට පාලකයන් පෙන්වන හැකියාවයි. 225 එපා යන සටන් පාඨය තුලත් ගැබ් වුයේ මෙම අරුතයි.

ලංකාවේ පසුගිය සෑම මැතිවරණයකදී ම පාලකයාගේ හැකියාව තීරණාත්මකව රටේ ජනතාව සොයා බැලුවේ නැත. ඡන්දයකට මුවා වී පවසන මුග්ධ දේශපාලන සටන් පාඨයන්ට රැවටී පාලකයන්ට බලය දුන්නේය. රට බංකොලොත්වුයේ ගර්හිත පාලකයන්ගේ අතීත පාලනයන්ට පින්සිදු වන්නටය. එම පාලකයන් සැම විටම ගොඩනැගුවේ රට නොව තම තමන්ගේ පවුල් සහ ගජමිතුරන්ය. තත්ත්වය එසේ නම්, 2024 මැතිවරණ වර්ෂයක් වන කල රටේ අවධානය යොමුවිය යුත්තේ අපට කොල කඩා පෙන්වන අපේ අනාගතය තමන්ගේ සුරක්ෂිත දෑතට ඉල්ලා සිටින අනාගත පාලකයන්ගේ පාලන හැකියාව වෙතට ය.

දැනට ඉදිරිපත්වන බලවේග අතරින් අපගේ අවධානය යොමු වන්නේ සමගි ජනබලවේගය වෙතට ය. ඒ රටේ නිල විපක්ෂය එය වන නිසාය. ඇතමුන් හාස්‍යයෙන් කියන්නේ ස. ජ. බ. යන අකුරු මගින් නියෝජනය කරන්නේ සජිත්-ජලනි බලවේගය යන බවයි. සැබවින්ම මෙම ප්‍රකාශය තුළ හාස්‍යයට එපිටින් යන ගැඹුරු දේශපාලනික අරුතක් පවතින බවක් පෙනෙන්නට තිබේ. එනම් සජබය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකට වඩා වැඩවසම් පක්ෂයක් වන බවයි. මෙසේ සිතන්නට අතීතය ද අපට දෙස් දෙන්නේය.

සජිත් සැම විටම කියන්නේ තමන් පියානෝගේ අඩි පාරේ යන බවයි. ඇඟළුම් කර්මාන්තය රටට හඳුන්වා දුන්නාට අමතරව ප්‍රේමදාස ජනාධිපති සිදු කළ සියළු කරනම් වැඩවසම් හා ජනප්‍රියවාදී දේශපාලනය මත පදනම්වු බව මතක ඇත්තන්ට මතක තිබිය යුතුය. ප්‍රේමදාස ජනාධිපතිවරයා සිංහාසනයක් මත හිඳගෙන පත්ඉරිප්පුවේ සිට ජනතාව ඇමතුවේය. ප්‍රේමදාස මහතාගේ බිරිඳට ආමන්ත්‍රණය කරන ලද්දේ හේමා ආර්යාව නමිනි. ඇය ටෙනිස් ගැසුවේය. පිස්සු නැටුවේය. ප්‍රේමදාස ඊට එරෙහිව මීක් කිව්වේ නැත. ප්‍රේමදාසගේ දියණිය විවාහ වුයේ ජයකොඩි සමාගමේ පුතකු සමගය. ප්‍රේමදාසගෙන් තම දියණිය වෙනුවෙන් ලබාදුන් දෑවැද්ද වුයේ නුවරඑළියේ ග්‍රෙගරි වැව මල් වැවීම සඳහා ජයකොඩිලාට ලබා දීමයි. ඒ සමගම එයාර්ලංකා සමාගමෙහි ජපානය බලා යන ගුවන්යානය මල් අපනයනය සඳහා කුණුකොල්ලයට ලබා දීමය.

ප්‍රේමදාස රට පාලනය කලේ තම සගයා වූ සිරිසේන කුරේ සමගය. කුරේ පාතාලය පාලනය කලේ ප්‍රේමදාසට අනුව ය.
ප්‍රේමදාස තරුණයන් දහස් ගනනක් මරා ජවිපය තලා තම බලය තහවුරු කරගත්තේ ය. එල්ටීටියට ආයුධ ලබා දී තම බලය තහවුරු කරගන්නට උත්සාහ කළ ද අවසානයේ දී එල්ටීටිය ඇටවු බෝම්බයකින් ප්‍රේමදාස ජීවිතයෙන් සමුගත්තේය. ප්‍රේමදාස රිචර්ඩ් ද සොයිසාගේ ජීවිතය උදුරාගත්තා පමණක් නොව නැගනහිර පලාතේ 700 කට අධික පොලිස් නිලධාරීන් එල්ටීටියට බිලි දුන්නේය. ප්‍රේමදාසගේ පාලනය රට තුල ලියවෙන්නේ ඉතා අඳුරු යුගයක් ලෙසය. දුෂනය ඉහවහා ගොස් තිබුණේ ය. මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට ගොස් තිබුනේය. ජනතාව ප්‍රේමදාස මරණය දා කිරිබත් කෑවේ තමන් එතෙක් දරා සිටි කටුක පීඩනයෙන් මිදීම නිමිති කොට ගෙනය.

දැන් සජිත් පුතා කියන්නේ තමන් පියා අනුගමනය කරන බවය. එසේ නම් රටට හා ජනතාවට දෙයියන්ගේම පිහිටය. සජිත් පියානෝ අනුගමනය කරන්නට යන්නේ ගෙඩි පිටිනි. ප්‍රේමදාස යුගය හා වර්තමානය අතර පවතින වෙනසක් පවතින බව නොතකාම සජිත් ප්‍රේමදාසගේ සිංදුව වාදනය කරන්නට පෙර පුහුණු වන බවක් දැන් දැන් පෙනී යමින් සිටී. හේමා ආර්යාව වෙනුවට ජලනි ආර්යාව පෙරට පැමිණ තිබේ. සිරිසේන කුරේ වෙනුවට සජිත්ගේ දකුණත් සගයා වන්නේ ට්‍රිනිටි විද්‍යාලයෙන් උගත් නමුත් තම පියාගේ පාතාලය සමග තවමත් සමග සබඳතා පවත්වන ලක්ෂ්මන් ෆොන්සේකාය. ලක්ෂ්මන් මිය ගිය නාවල නිහාල්ගේ ඤාතියෙකි. සජිත්ගේ පරණ දේශපාලන උපදේශක වන්නේ පල් හොරෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලය. නුවර අධිවේගී මාර්ගය පුර්ණව ගිල දැම්මේ කිරිඇල්ලය.

දැන් තවත් පජාත හොරෙකු ලෙස සැලකෙන නාලක ගොඩහේවා ද සජිත්ගේ අභ්‍යන්තර කවයට ඇතුලත් කර ගත්තේය. කිසිදු ප්‍රතිපත්තියක් නොමැති ලෝක පුජිත අවස්තාවාදියෙකු ලෙස සැලකෙන ජී එල් පීරිස් ද, සජිත්ගේ අගසව්වකු බවට පත් කොට ගෙන තිබේ. එසේ නම් අනාගත ජනාධිපති සජිත් සහ ඔහුගේ ප්‍රධාන කැබිනට් සගයන් ලෙස කිරිඇල්ල, ගොඩහේවා, පීරිස් බලතල හොබවන රජයක රටට සෙතක් සිදුවනු ඇත්තේ කෙසේදැයි අප විමසා බැලිය යුතුව තිබෙන බරපතල දේශපාලන ප්‍රශ්නයක් වන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *