සජිත්ගේ ‘හුස්ම’ වැඩසටහනේ තවත් අදියරක් පෙරේදා පාර්ලිමේන්තුවේදී!!

සජිත්ගේ ‘හුස්ම’ වැඩසටහනේ තවත් අදියරක් පෙරේදා පාර්ලිමේන්තුවේදී!!

මේ වන විට රනිල් වික්‍රමසිංහ ගේ දෙමුහුම් ආණ්ඩුව ඉන්නේ උණුහුම් වෙලාය.  ඒ පලමුව ජනාධිපතිවරණය පැවැත්වුවත් මහ මැතිවරණය පැවැත්වුවත් හොම්බෙන් යන්න වෙන බව දන්නා නිසාය.

ආණ්‌ඩු පක්ෂය රටේ ජනතාව තුල එලෙස කුජීත වී සිටිනවා පමණක් නොව ඇතුලේ කචල් බොහොමයක් ද මධ්‍යයේ පවත්වාගෙන යන්නකි.

නමුත් එවන් තත්ත්වයක් යටතේ හෝ ආණ්‌ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමට විපක්ෂ නායකයා විපක්ෂය මෙහෙයවීමට අදක්ෂ විය.

ජයග්‍රහණය කිරීමට අවශ්‍ය අංක ටික තමන් සතු නොවේ නම් මෙවන් විශ්වාසභංග යෝජනා ගෙන ආ යුතු නොවේ.

සජිත් ප්‍රේමදාස විපක්ෂය ඇන්න වූ පලමු අවස්ථාව මෙය නොවේ. අවුල යනු ඔහු දැන දැනම නැවත නැවතත් එකම දේ කිරීමයි.

මින් සිද්ධ වන්නේ විපක්ෂය හෑල්ලුවට ලක්වීම පමණක් නොවේ, වැටිලා ඉන්න ආණ්‌ඩුව ට හුස්ම පිඹීමකි. විසිරී සිටින ආණ්‌ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට එකා මෙන් එක්වීමට අවස්ථාව ලබා දීමකි සජීත් මේ කළේ.

දින තුනක් පුරා විවාදයකට යමින් රටේ මහජන මුදල් නාස්ති කරමින් අවසානයේ රටේ ජනතාවට ලබා දුන් ඉටි ගෙඩියක් නැත. කිසිවක් වෙනස් නොවෙමින්  මැටි බෝලයක් වන් කථානායක තව දුරටත් එම තනතුරේම සිටීයී.

විපක්ෂ නායකවරයා මේ තත්ත්වයට ඍජුවම වගකිව යුතු අතර විවාදය පුරා point of order යනුවෙන් බෙරිහන් දෙමින් පාර්ලිමේන්තු කථා කාලය තනතුරේ නාමයෙන් කොල්ලකමින් තමන් කථා කරන එක තමන්ම අසමින් ඔහු ගත් විනෝදය නරුම එකක් වන්නේ විශ්වාසභංගය පරදින බව දැන දැනම කල එකක් නිසාවෙනි.

ඊළඟ වග උත්තරකරු වන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයි.  විශ්වාසභංගය ජයග්‍රහණය කරගැනීමට අවශ්‍ය අවම අංක ටික සපුරා ගැනීමට මෙන්ම ස්ථීරවම තමන්ගේ පිලට ඡන්දේ දෙන්න ඉන්න මන්ත්‍රීවරුන්ව ඡන්දය විමසන විට පාර්ලිමේන්තු සභා ගර්භය තුලට ගෙන්වාගෙන සිටීමට තරම් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දක්ෂ විය යුතුය.

මේ අදක්ෂ බවට සරලම උදාහරණය වන්නේ පාර්ලිමේන්තු ජනාධිපතිවරණය තුල රනිල් වික්‍රමසිංහට එරෙහිව සජබ ඉදිරිපත් කළ ඩලස් අලහප්පෙරුම මෙම කථානායකට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දීමට පැමිණියා ද නැද්ද යන්න සොයා බැලීමය.

නමුත් ඊට ප්‍රතිවිරුද්ධ ව ආණ්‌ඩු පක්ෂය විශ්වාසභංග විවාදයට පෙර විදෙස්ගතව සිටි මන්ත්‍රීවරුන්ට හය දෙනෙකු වහාම මෙරටට  ගෙන්වා ගත් අතර නිල රාජකාරී ගමනක් ගොස් සිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද ඒ අතර විය.

සජිත් ප්‍රේමදාස ගේ මේ කෙරුවාව දැන් මොනවට ප්‍රදර්ශනය වී අහවරය. මේ මල්ල නැවත ලිහා බැලිය යුතු නැත. පසුගිය ජනාධිපතිවරණය,  මහ මැතිවරණය,  පාර්ලිමේන්තු ජනාධිපතිවරණය වගේම විශ්වාසභංග යෝජනා සියල්ලද පරාජය වී ඇති සජිත් පරාජිතයකු ලෙස දැනට දෙවැනි වන්නේ රනිල් වික්‍රමසිංහ ට පමණි. 

දෙදෙනාම පරාජයන් අතින් එක වල්ලේ පොල්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *