සජිත් සහ සුබසාධනවාදය
පසුගිය වසර 75 ක ලංකාවේ පාලන තන්ත්රයන් දෙස බලන කල ජනතා සුභසාධනය යයි කියා පාලකයන් විසින් ගත් තීරන රටේ වර්ධනයට බාධාවක්වු බව දැන්වත් තේරුම් ගත යුතු කාලය පැමිණ තිබේ. සුබ සාධන ලිබරල් රාජ්‍ය ක්‍රමය සහ ලංකාවේ ක්‍රියාත්මක වු සුබසාධන මාදිලිය අහසට හා පොළොව තරම් වෙනස් ක්රමයන් බව වටහා ගත යුතුව තිබේ. සුබසාධනය රටකට අවැසිය. ඒ අන් කවරකටකත් වඩා රටේ අව වරප්රසාදිත ජනතාවගේ ජීවිත වලට අත්වැලක් ලබා දී ඔවුන් දිගු කාලීනව බලසතු කරන්නටය. නමුත් සුබ සාධනය චන්ද ගුන්ඩුවක් කර ගත්තේ ලංකාවේ පාලකයන්ය.
එකල හාල් සේරුවක් නොමිලේ ලබා දුන්නේ හද්දා පිටිසර දුප්පතාට පමනක් නොවේ; කොළඹ හතේ ධනපතියාටත් එම හාල් සේරුව නොමිලේ ලබා දුන්නේය. පාසල් නිල ඇඳුම් හා පොත් පත් නොමිලේ ලබා දුන්නේ අවශ්‍යතාව සහිත පාසල් දරුවන්ට පමණක් නොවේ. රාජකීය විද්‍යාලයේ දරුවන්ටත් එම වරප්‍රසාදය එලෙසම හිමිවුයේ සමානාත්මතාවයේ නාමයෙනි. නොමිලේ දුන් පොහොර ටිකත්, වාරි ජලයත් දුප්පත් ගොවියන් මෙන්ම මහා පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ටත් එක සේ ලැබුණේ ය. නොමිලේ දෙන සෞඛ්‍යයය සිරිමාවෝ ශත 25 ක මුද්දරයක් මිලදී ගන්නට නියම කලේය. ජේ ආර් එම අය කිරීම ඉවත් කලේ ඉමහත්වු පුරාජේරු කතා කියමිනි. රටේ ධනය වක්කඩ කැඩුවා සේ මෙසේ ගලා ගියේ 50 දශකයේ සිටය. අවසාන ශේෂ පත්‍රය දැන් අපට කියන්නේ රටක් ලෙස අප බංකොලොත් වී ඇති බවය. මෙයට පදනම සැලසුයේ මෙරට දේශපාලන නායකයන්ගේ බලය සඳහා වු කෑදර මනසයි. ඔවුනට වැදගත්වුයේ රටට වඩා තමනට ලැබෙන දේශපාලන වාසියයි.
ඒ තුළ සිදුවන ආර්ථික හානිය ඔවුනට වගේ වගක් තිබුනේ නැත.රට බංකොලොත් වී රට හොම්බෙන් ගොස් ඇති මේ යුගය තුලත් අතීතයෙන් පාඩම් ඉගෙන නොගන්නා ජාතික නායකයන් තවමත් පැරනි සිංදුවම වයමින් රටේ ජනතාව සුබසාධනයේ නාමයෙන් රවට්ටන්නටත් ගොනාට අන්දවන්නටත් ක්‍රියා කරන බවක් පෙනෙන්ට තිබේ. එහි පෙරමුණ ගෙන තිබෙන්නේ සජිත් ප්‍රේමදාසය.
සජිත් දේශපාලන බලය ගැන සිතුවේම සුබසාදනය අවියක් කොට ගෙනය. හම්බන්තොට දිස්ත්‍රික්කය තුල ඔහුගේ දේශපාලනය සඳහා ඔහු කෝටි ප්‍රකෝටි ගණනක් වැය කලේය. කාන්තා ණය දෙන සමිතිය ඔහු භාවිතා කල ප්‍රමුඛ සංවිධාන උපක්‍රමය වුයේය. පක්ෂයේ බිම් මට්ටම සංවිධානය කලේ එම කාන්තා ණය දෙන සමිති තුලිනි. අවසානයේ හම්බන්තොට දේශපාලනයෙන් පැදුරටත් නොකියා සමුගන්නට සිදු වුනේය.
දැන් රටේ විපක්ෂ නායකයා ලෙස විකල්ප රාජ්‍ය බලය තමන්ට ලැබිය යුතු බවට සමාජයට ඒත්තු ගන්වන්නට උත්සාහ දරමින් සිටින්නේ තම පැරණි අවකල්පිත සුබසාධන වාදය තුලින්මය. ඔහු දැන් පාසල් වලට බස් හා සුහුරු කාමර බෙදති. රෝහල් වලට බෙහෙත් හා උපකරන බෙදති. පන්සලට දන් පුදති. මෙම දන්දීම් කාන්තාවට ණය දී ඡන්දය ලබා ගැනීමට දැරෑ උත්සාහයේම තවත් වර්ධිත පියවරකි. සජිත්ගේ පරිකල්පනය ගොඩනැගී ඇත්තේ මෙම වංචාකාරී දන්දීම තුලින් සිය පාලන බලය නුදුරේදී තහවුරු කරගන්නට හැකි බවට වන අචල විශ්වාසයයි.
එම විශ්වාසය ගොඩනගන්නේ දුෂිත පදනමක් තුළ ය . මෙසේ දානය පිරිනැමීමට සජිත්ට එක්කෝ පුද්ගලික ධනයක් තිබිය යුතුය. එසේත් නැති නම් සජිත්ගේ සුබ පතන්නන් සජිත්ට එම මුදල් ලබාදිය යුතුය. පුද්ගලික ධනය වේවා තවත් අයෙකුගේ ධනය වේවා එවා කළු සල්ලි නොවිය යුතුය. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු නම් සිය පාරදෘෂ්‍යභාවය පෙන්වීමට සිය මුල්‍ය මුලාශ්‍ර සමාජයට එලි දැක්විය යුතුව තිබේ. එසේ නොමැතිව මෙසේ කරන දන්දීම් රටට අහිතකරය. ඒ අන් කිසිවක් නිසා නොව ඒ තුලින් රට තුල පවතිනා ගජමිතුරු ආර්ථිකයට සජිත්ගේ ක්‍රියාවන් උල්පන්දම් ලබා දෙන නිසාය.
රටේ විපක්ෂ නායකයා ලෙස තමන් අනාගතයේ දී රට පාලනය කරනු ඇත්තේ කෙසේද යන්න පිලිබඳව ඉඟියක් සජිත් මේ ආකාරයට වර්තමානය තුළ ලබා දෙමින් සිටී. සජිත්ගේ මෙම පාලන චින්තනය පිලිබඳ කදිම අත්දැකීමක් ඔහු යහපාලන ආන්ඩුවේ සංස්කෘතික ඇමති ලෙස කටයුතු කරමින් කල කී දෑ මගින් ද දැනටමත් අපට ලබා දී තිබේ. සංස්කෘතික අරමුදලේ තිබු මුදල් ඔහු කාබාසිනියා කොට තිබුනේ රාජ්‍ය මුදල් පිලිබඳව කිසිදු අනුකම්පාවකින් තොරවය. ඒ මුදල් යොදවා තම ආර්යාවට පුද්ගලික අංග ආරක්ෂකයන් ද ලබා දී තිබු බව අභ්‍යන්තර විගණක වාර්තාවක් මඟින් සඳහන් කොට තිබේ. මේ අනුව පෙනෙන්නේ ලංකාවේ අතීත නායකයන් ගිය පාරේම සජිත් නිසැකවම ගමන් කරනු ඇති බවට සැකයක් නැති බවයි.
ඔහුගේ වර්තමානය ඒ බව තහවුරු කරමින් සිටී. නමුත් රටට අවැසිව තිබෙන්නේ අතීත වැරදි එලෙසටම ක්‍රියාත්මක කරන දේශපාලන නායකයකු නොවේ. එක්කෝ සජිත් තම පරිකල්පනය තමන් විසින්ම වෙනස් කර ගත යුතුය. එසේ නැතිනම් සමාජය දුර දක්නා නුවණින් සජිත්ව ප්‍රතික්ෂේප කල යුතුව තිබේ. රෑ වැටුන වලේ දහවල් ද නොවැටිය යුතුව තිබේ. සමාජයක් ලෙස අප උගත යුතු පාඩම එයයි.