සන්ධානය ලත් තැනම ලොප් නොවීමට නම්…
නිමල් ලන්සා ප්රමුඛව හැදුනු සන්ධානය දැන් නිශ්ශබ්ද ය. එම සන්ධානය සෑදීමේ ප්‍රධාන බාධකය වූ මෛත්‍රීපාල සිරිසේන අක්‍රිය වුව ද, දිගින් දිගටම එම පාර්ශවය ශ්රීලනිපය තුළ බලය රඳවා ගැනීමේ උත්සාහයක් පැවතුනද, තවමත් මෛත්‍රීපාලට සභාපති ධුරයට පැමිණීමේ හැකියාවක් නැත.
මෛත්‍රී වෙනුවට වැඩ බලන්නට දැමූ විජේදාස රාජපක්ෂට ද සිදුවූයේ අධිකරණ නියෝගයකින් අක්‍රීය වන්නට ය. මහලේකම් වූ දුෂ්මන්ත මිත්‍රපාලට ද වුනේ ඒ ටික ය.
තත්ත්වය මෙසේ වුවත් ලන්සලාගේ කණ්ඩායම නිශ්ශබ්ද වූයේ ඇයි ද යන්න ප්රශ්නයකි. ලන්සලා කණ්ඩායමක් විදිහට උත්සහ කළේ ශ්‍රිලනිපය සහ තවත් පක්ෂ කීපයක් එකතු කරගෙන නව සන්ධානයක් නිර්මාණය කිරීම ය. ඊට ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා පාර්ශවයේ සහාය ලැබී තිබූ අතර, පාඨලීගේ ජනරජ පෙරමුණ සමග ද, සරත් ෆොන්සේකා සමග ද. ලන්සලා සාකච්ඡා කර තිබිණ. පාඨලී, ෆොන්සේකා, වෙල්ගම යන තිදෙනා සහ ශ්‍රීලනිප පාක්ෂිකත්වය එක්වන සන්ධානයකට අවස්ථාව සම්පූර්ණයෙන් ම අහුරා දැමූ බාධකය වූයේ මෛත්‍රීපාල ය. රනිල් ජනාධිපතිවරණය සඳහා තරග වදින්නේ නැත්නම් ඒ වෙනුවට ඉදිරිපත් කළ හැකි විකල්ප සන්ධානය බවට ලන්සාගේ සන්ධානයට පත්වීමේ විභවතාව පැවතිණ. කොහොමත් මෛත්‍රී විජේදාසට තැන දුන්නේ එම අවස්ථාව පාඨලී හෝ ෆොන්සේකා වෙත යෑමෙන් වළක්වා ලීමට ය. මෛත්‍රීගේ ඒ බාධාව නිසා විශාල පිරිසක් එක් කරගෙන හැදීමට නියමිතව තිබූ සන්ධානය ලත් තැනම ලොප් විය.
මෙම සන්ධානය කඩාකප්පල් කිරීමේ වාසිය රාජපක්ෂලාට ය. ඒ ඔවුන්ගෙන් තොර, ඔවුන්ට එරෙහි සන්ධානයක් නිර්මාණය වීමෙන් වැළකීමය. එම සන්ධානය නොසෑදීමෙන් රනිල්ට වූයේ ද පාඩුවකි. දැන් නැවතත් ජනාධිපති රනිල් රාජපක්ෂලාගේ අත්අඩංගුවේ ය.
මෛත්‍රීගේ බාධාව බාධාවක් කර නොගැනීම දැන් ලන්සලාගේ මෙන්ම පාඨලීලාගේ, අමරවීරලාගේ වගකීමය. රාජපක්ෂලාගෙන් වෙන්වීම සඳහා සූදානම් ව සිටි පොහොට්ටු සාමාජිකයන් එතනින් මුදාගැනීමත්, පක්ෂ අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් ඉච්ඡාභංගත්වයට පත් ව සිටින ශ්‍රීලනිප පාක්ෂිකයා මාලිමාව වෙත යාම වළක්වාලීමත්, ඔවුන්ගේ දැන් අරමුණ විය යුතු ය.
අදාළ පාර්ශවයන්හි බලාපොරොත්තු බිඳ වැටිමෙන් වළක්වා මේ සන්ධානය ගොඩනැගීමේ හැකියාව තවමත් ඉතිරිව පවතී. ඒ සඳහා පාඨලී, අනුර යාපා, අමරවීර වැන්නවුන් දැන්වත් පෙරමුණ ගැනීම අත්‍යවශ්‍ය ය.