සුරාබදු සහ අධිභාර ගෙවීම් පමා කළ අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයට එරෙහිව අතුරු තහනමක්!

සුරාබදු සහ අධිභාර ගෙවීම් පමා කළ අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයට එරෙහිව අතුරු තහනමක්!

සුරාබදු හා අධිභාර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල සැලසුමට අනුව සුරාබදු හා අධිභාර 2023.10.31 දින වන විට ගෙවා අවසන් කල යුතු බවත් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන මෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කමිටුව මගින් නියෝගයක් ලබා දී තිබිණ.

විශේෂයෙන් ම සුරා බදු බිලියන 1.5 කට වඩා හිඟ බදු සහ අධිභාර ලෙස ගෙවිය යුතු ග්ලෝබ් බ්ලෙන්ඩර් සහ වයඹ ස්ප්‍රිතු ගබඩා සමාගම් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව කමිටුව හමුවේ අනාවරණය විය.

සාමාන්‍යයෙන් මත්පැන් බෝතලයක් විකුණා දින 15 ක් ඇතුළත මෙම සුරා බදු ප්‍රමාණය දෙපාර්තමේන්තුව වෙත අය විය යුතුව ඇතත්, මාස ගණන් අවුරුදු ගණන් මෙම හිඟ බදු මුදල් එකතු කර ගැනීමට හැකියාව ලැබී නැත.

දැන් රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම යනුවෙන් හැඳින්වෙන පෙර වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම විසින් ඔවුන් විසින් ගෙවිය යුතු හිඟ බදු (මිලියන 58) අය කර ගත නොහැකි වුවහොත්, ඔක්තෝබර් 31 වෙනිදාට පෙර බලපත්‍ර අත්හිටුවීමක් කරා ගමන් කළ යුතු බවට වන නියෝගය අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කොට ඇත. ඒ අනුව අද (ඔක්තෝබර් 31) වන විට අදාළ නියෝගය ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණ. එම නියෝගය ප්‍රකාරව බලපත්‍ර අහෝසි කිරීමකට ගියහොත් තම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බව පවසමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති මෙම පෙත්සම සළකා බලමින් අභියාචනාධිකරණය විසින් මෙකී සමාගමේ බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් ලබා දීම දින 14 ක් දක්වා කල් තබමින් අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබේ.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කමිටුව මගින් මෙවන් නියෝගයක් ලබා දී ඇත්තේ, අවුරුදු ගණන් හිඟ බදු සහ අධිභාර ගෙවීම මග හරිමින් ආණ්ඩුවේ ආදායමට පොලු තබන ලද සමාගම් වලටය. අනෙක් අතට, අදාළ මිල ගෙවා මත්පැන් පාරිභෝජනය කරන පුද්ගලයන් ඒ සඳහා වන බදු දැනටමත් ගෙවා ඇති බැවින් එම සුරා බදු නිසි වේලාවට ගෙවීමේ වගකීමක් අදාළ සමාගම් සතුව පවතී. ඒ සඳහා මත්පැන් බෝතලයක් විකුණා දින 15 ක් ඇතුළත එම ගෙවීම සිදු කරන ලෙස සුරා බදු දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පසුබිමක් තුළ මෙම හිඟ බදු සහ අධිභාර මග හැරීම සිදු කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *