හර්ෂව පත් කළේ රනිල්. සජිත් කෝන්තරේ එළියට දායි!
මුදල් කාරක සභාවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා ආයෙත් පත් වී තිබේ. ඒ දෙවෙනි වරට ය.
හර්ෂ මුදල් කාරක සභාවට පත් කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යැයි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ. හර්ෂ සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් වුවත්, වැඩ කරන්නේ රනිල්ට ඕනෑ හැටියට බවට වන අදහස සජිත් පාර්ශවය දිගින් දිගටම නොසඟවා සඟවමින් නොකියා කියමින් සිටියි.
සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවේ සිටින්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් ය. නමුත් ගෝඨාභය පාලනයේ දූෂිත කුප්‍රකට සෙන්පතියෙකු ලෙස ප්‍රකට ආචාර්ය නාලක ගොඩහේවා සජිත් ළඟට අරගෙන දැන් ටික කාලයකි. එදා සිට හර්ෂලා ටිකින් ටික සජිත්ගෙන් ඈත් වීමට පටන්ගෙන තිබේ. සජිත්ට තමන් හා සමාන ආර්ථික දැක්මක් තිබුන ද, සමගියේ ඇතැම් අයට ඇත්තේ රනිල්ගේ ආර්ථික දැක්ම බව ගොඩහේවා මෑතක කියා තිබිණ. ඒ හර්ෂලා ඉලක්ක කරගනිමින් බව පැහැදිලි ය. හර්ෂ ඊට පිළිතුරක් දෙමින් කියා සිටියේ ගොඩහේවා සජිත් ළඟට කිට්ටු වී අවුරුද්දක් එකහමාරක් වුවත්, තමන් සජිත්ව දන්නේ පාසල් යන කාලයේ පටන් නිසා සජිත්ගේ ආර්ථික දැක්ම ගැන තමන්ට ගොඩහේවාගෙන් දැන ගත යුතු නැති බවකි.
මේ කතා ඔක්කොම ගැටගැහෙන්නේ ගොඩහේවා ළඟට කරගෙන හර්ෂලා කපා දැමීමේ සජිත් පාර්ශවයේ ප්රවේශයන් ලෙස ය. එපමණක් නොව හර්ෂලා රනිල් ළඟට කිට්ටු වී ඇති බව ද සැබෑවකි. කොහොමත් හර්ෂලාගේ පරණ නායකයා රනිල් වික්‍රමසිංහ ය. සජිත් සමග හර්ෂලා පෑහෙන්නේ නැත. මුදල් කාරක සභාවට විපක්ෂයෙන් කෙනෙක් පත් කරන්නට සජිත් කොහෙත්ම කැමැත්තක් නැත. ඒ වෙනුවෙන් හර්ෂ පත් කරන්නට ඇත්තේ රනිල් විසින් බව සැබෑවක් විය හැක්කේ එබැවිනි.