ෆොන්සේකාට ‘යුද වියරුවෙකු’ කී, රාජපක්ෂවාදී දයා සජිත් ළඟට ගත්තේ ෆොන්සේකා කපා හරින්නද?
ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය සමග එක් කර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබේ.
ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස ද පත් කර ඇති අතර, දයා රත්නායක ද ශ්‍රී ලාංකේය දේශපාලනයේ ආන්දෝලනාත්මක සටහන් තැබූ පුද්ගලයෙකි.
සමගි ජන බලවේගයේ වත්මන් සභාපති, ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකාව දැඩි ලෙස විවේචනය කළ චරිතයක් ලෙස ප්‍රකට දයා රත්නායක, විශේෂයෙන් ම ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සඳහා එවක මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා කරද්දී නිහඬව සිටි පුද්ගලයෙකි.
වරෙක දයා රත්නායක, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාව හඳුන්වා දුන්නේ ‘යුධ වියරුවෙකු’ ලෙස ය. ඉතිහාසයේ සිදුවූ ලොකුම පාවාදීම කළේ ෆොන්සේකා බව කීවේ ද දයා රත්නායක ය.
තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කරවීම සඳහා නායකත්වය දුන් සෙන්පතියා ලෙස ෆොන්සේකා වෙත ඇති කීර්තිනාමය පහත හෙළීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දයා රත්නායක තමන් ළඟට ගෙන ඇති බව පැහැදිලි ය. සජිත් ප්‍රේමදාස සමග ගමනක් නොමැති බව ෆොන්සේකා පෙන්නුම් කරමින් සිටින්නේ කලක සිට ය. සජිත්ගේ පියාණෝ ඉතිහාසය කබල් ගගා සිටීමෙන් පලක් නොවන බව ෆොන්සේකා කළින් සිටම කීවේය. දැන් දයා රත්නායක ළඟට ගත් සජිත් ළඟ තවදුරටත් ඉන්නවාද නැද්ද කියා තෝරාගැනීම ෆොන්සේකා සතු කාර්යයකි.
දයා රත්නායකගේ ඉතිහාසය ගැන තවත් කිවහොත් ජනාධිපති ධුරයෙන් පලවා හරින ලද ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ වරාය අධිකාරියේ සභාපති ලෙස ද, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද, දේශපාලන පත්වීම් ලද පුද්ගලයෙකි. විශේෂයෙන් ම රාජපක්ෂ හිතවාදියෙකු වූ දයා රත්නායක සමගි ජන බලවේගයට එක් කරගැනීම ගැන සරත් ෆොන්සේකා දක්වන ප්‍රතිචාරය දෙස අපි බලා සිටිමු.