2024 ට පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය ඇයි?
පොදු අපේක්ෂකයා කියන සංකල්පය ලාංකේය දේශපාලනයට අලුත් එකක් නෙවෙයි. පැවති ජනාධිපතිවරණ බොහෝමයක පොදු අපේක්ෂකයෙක් හිටියේය. පොදු අපේක්ෂකයා පැරදුණු වාර ඇත්තේ නිශ්චිතවම එකක් පමණය. ඒ 2010 දී සරත් ෆොන්සේකා ය.
2019 ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පුම්බන ලද රෑල්ලක් එන විට එවක ආණ්ඩු බලය හෙබවූ පක්ෂයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ආවේය. ඒත් ඒ වෙලාවේ ඒක යට ගොස් ඒ වෙනුවට සජිත් ප්‍රේමදාස පැමිණියේය. ඒ මොහොතේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් උනානම් 2019 බල පෙරළිය වෙනස් වන්නට පවා ඉඩ තිබිණි. ඒ මක්නිසාදයත් ඒ මොහොතේ කරු ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්න සූදානම්ව සිටි නිසා ය.
එහෙම උනානම් ජවිපෙ එම මැතිවරණයට ඉදිරිපත් නොවන්නටද ඉඩ තිබිණි. එහෙම වුණා නම් පොදු අපේක්ෂකයාට එකතු වන්නේ ජවිපේ ලක්ෂ හතරක ප්‍රමාණය පමණක් නොවේ. පොදු අපේක්ෂකයෙකු තරග කරන විටදී ගණන් හදන්නේ එක ධන එක දෙකක් ලෙස නොව තුනක් ලෙසය. ප්‍රධාන කඳවුරු දෙකක් වෙන්වන විටදී ප්‍රතිවාදී කඳවුරකට වඩා වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වීම ස්වභාවිකය.
ප්‍රධාන කඳවුරු කිහිපයක් එකතු වන විටදී ප්‍රතිවාදී කඳවුරකට ඔවුන්ගේ කඳවුර පුළුල් කරගැනීමට සිදුවේ. ඒ අර්ථයෙන් බලන විට 2024 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් එන්නම ඕනෑ ය.
පොදු අපේක්ෂකයෙක් එද්දී අපි යටතේ ඉන්න එන්නයි කිසිවෙකු කියන්නේ නම් ඒක නොදන්නාකමය. හැම කඳවුරකම සාධනීය යෝජනා අරගනිමින් සෑම කඳවුරක්මයි ඒකාබද්ධ කරගෙන හැමෝටම එකඟ විය හැකි පොදු වැඩ පිළිවෙලක් හරහා පොදු අපේක්ෂකයෙක් එන්නේ නම් හැමෝම වැඩට බහිනු ඇත.
එදා 2024 මාලිමාවට එරෙහිව පොදු කඳවුරක් හැදිය යුත්තේ මාලිමාවට බය නිසාද යි නොදන්නා කෙනෙක් හිතන්න පුළුවන. ගැටළුව තියෙන්නේ මාලිමාවට හෝ වෙනයම් පක්ෂයකට ඇති විය යුතු බිය නොවේ. ජනකාන්තවාදී උච්ඡ අවස්ථාවට පැමිණීමෙන් පසු රැල්ල පසුපස හඹා යන ජනතාවක් කේන්තියෙන් ගන්නා තීන්දු මත ආණ්ඩු හදන්න ගිහින් රට තියෙන තත්ත්වයෙන් තවත් අර්බුදයකට ගියවිට ඒවාට වන්දි ගෙවීම රුපියල් වලින් වෙනුවට ජීවිතවලින් වෙන්න වුනොත් අන්න ඒකෙන් ඇතිවිය හැකි බරපතළකම කලින් දකින්න ඕන නිසා ය.
දේශපාලනයේ නියුතු ඇතමුන්ගේ භාවිතාවන් නිසා ජනතාව කෝපයට පත්වී සිටින බව නො රහසකි. සියල්ලට වගඋත්තරකරුවා දේශපාලනඥයා බවට පත්කර ඇති අතර 225ම එපා යන තැනටම ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකින් තල්ලු වී ඇත.
ඇතැම් ජනතාවක් අත්හදා බැලීමක් කරන්න හදන්නේ උන්ටත් දුන්නා මුන්ටත් දුන්නා දැන් අරුන්ටත් දීලා බලන්න ඕන කියාය. ඒ ජනතාවම ඒ විදියට දොස්තරලා ළඟට ගිහින් බෙහෙත් ගන්න යන්නේ නැත. ඒ විදිහටම තමන්ගේ දරුවන්ට පාසල් හෝ ගුරුවරුන් තෝරන්න යන්නේ නැත. ඒ විදිහටම තමන්ට පදින්න වාහනයක් ගන්න යන්නේ නැත. වැඩිමනත් නොව අඳින්න ඇඳුමක්වත් එහෙම ගන්න යන්නේ නැත. ඒවට තෝරන්නේ හරිම එක ය. එහෙව් ජනතාව කේන්තියෙන් රට පාලනය කරන්නට යන පාලකයා සහ ආණ්ඩුව තෝරන්න යනවා නම් එකී ප්‍රතිඵලය ද ඊට වඩා හානිකර විය හැක. එවන් තත්ත්වයක් ඇති වටපිටාවක විකල්පයට විකල්පයක් ඉදිරිපත් කළ යුතුව ඇත. ඒක අලුත් වෙන තරමට හොඳය. මක්නිසාද යත් ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ ජනාධිපතිවරණයක් තරග කර පරාජය වූ අපේක්ෂකයෙකු ආපහු දිනල නැති නිසාය. 1989, 1994, 1999, 2005, 2010, 2015, සහ 2019 ජනාධිපතිවරණ සියල්ලේම ප්‍රතිඵලය කිව්වේ එහෙමය.
එළඹෙන මැතිවරණය වෙනුවෙන් මාලි මාව විසින් කරගෙන යන ප්‍රචාරක වැඩපිළිවෙල ඉතා හොඳ ය. මාගේ දෘෂ්ටිකෝණයට අනුව ජනකාන්තවාදයේ උච්චස්ථානයට පැමිණ ඇති එය ගෝඨාභය ආණ්ඩුවට වඩා දශමයකින්වත් වෙනස් වන්නේ නැත. ගෝඨාභය සේනාව චිත්‍ර ඇන්දා වගේ ජවිපෙ ආණ්ඩුව අපේක්ෂා කරන සෙට් එක මොකද්දෝ සින්දුවක් කිය කිය පාරවල් සුද්ද කරනවා දැක්කේ ය. 2019 ජනාධිපතිවරණයට කලින් පොහොට්ටුව සමූපකාර අල්ලන් ගියා වගේ මාලිමාව දැන් සමූපකාර අල්ලාගෙන යන්නේය. 2019 ගෝඨාභය වෙනුවෙන් වියත් මග බැස්ස වගේ දැන් NIO බැහැල ය. 2019 ගෝඨාගේ වේදිකාවේ හිටපු කලාකරුවෝ සියල්ලම දැන් මාලිමා වේදිකාවේ ය. 2019 ගෝටට උදව් කළ මාධ්‍ය සගයන් දැන් අනුරට ය. 2019 ගෝඨා වෙනුවෙන් පිටරටවල සිට පැමිණි ඩයස්මිලා දැන් අනුරට ය.
අනුර ජයග්‍රහණය කිරීම ගැන කිසිදු ගැටලුවක් නැත. හැබැයි රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න අනුරල සමන්තල ටින්වින්ලා හරිනිලා බිමල්ලා, ලාල්ලා එකිනෙකාට පරස්පරව කියන කතා ගැටලු සහගතය.
දේශපාලනයේ වැදගත්කමක් ඇති සහ ජනතාව අතර ඉන්නා සියලුම දේශපාලන පක්ෂවල (පොහොට්ටුව හැර) තැනන්නන් සමග අලුත් පරම්පරාවේ මුහුණු එකතුවෙන් සමාජ බලවේග සමග හැදෙන සන්ධානයක් හරහා 2030 වන විට රට ගෙනියන තැන ගැන නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුව ඇත. අන්න ඒක වඩාත් හොඳින් කණ්ඩායමක් සමග ක්‍රියාත්මක කළ හැකි මූල්‍ය චෝදනා දූෂණ චෝදනා නැති, වැඩ කරලා පෙන්නලා ඇති සහචරවාදයට ඉඩ නොදෙන කෙනෙක් පොදු අපේක්ෂකයෙක් වුණොත් ජනතාවගේ කෝපයේ කතිරය වෙනස් වන්නට හැකිය.අනෙක් පැත්තට මාලිමාව පරාජය වුවත් ඔවුන්ට ශක්තිමත් විපක්ෂයක් හිමිවීමෙන් නිවැරදි ආණ්ඩුකරණයක් දැකිය හැකිවනු ඇත.
2024 බොහෝ දුරට ලංකාවේ ඉරණම හොඳට හෝ නරකට කරකවාගන්නා වසරක් වනවා නොඅනුමානය. 2024 වැඩේ වරද්ද ගත්තොත් කාම්බෝජයේ ඉතිහාසය වගේ ඉතිහාසයක් 2025 දී ලංකාවේ ලියවෙනු ඇත. 2022 අරගල වගේ අරගල ආයෙත් මහපොළොවේ පැල කරන්නට ලෙහෙසි නොවනු ඇත. නිදහසින් පසු දෙවතාවක් මහා පරිමාණයෙන් ලෙයින් තෙත් වුණු මේ මහ පොළොව තවත් ලෙයින් තෙත් කරන්න උවමනා නැත. ඒක එහෙම වෙනවාද නොවෙනවද කියලා තීරණය කරන්නේ වැදගත් කණ්ඩායමත් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් හා සිවිල් සමාජයයි. අවසාන වශයෙන් කිව යුත්තේ ද 2024 ට නිවැරදිම උත්තරය රට බංකොලොත් කළ රාජපක්ෂ සනුහරය හැර එකතුවෙන්නා වූ බලවේග වලින් යුත් පොදු අපේක්ෂකයෙක් පමණක්ම බව ය.