2024 න් පසුව ලංකාවේ පාලනය කුමන ස්වරූපයක් ගත යුතුව තිබේද?

2024 න් පසුව ලංකාවේ පාලනය කුමන ස්වරූපයක් ගත යුතුව තිබේද?

රනිල්ගේ ප්‍රකාශය සත්‍ය නම් 2024 අවසානය වන විටත්, ලංකාවෙ වර්ධනය තවදුරටත් සෘණ අගයකම පැවතෙනු ඇත. එනම්; අප රටේ දල ජාතික නිෂ්පාදනය 2024 අවසානයේ දී ද සෘණ එකක පවතින බව රනිල්ට අනුව තේරුම් ගත යුත්තේය. සෘණ අගයක පවතින ආර්ථිකයක ඇති ප්‍රධාන ලක්ෂණය වන්නේ ආර්ථිකය එක තැන පල්වීමයි.

කාර්මික නිෂ්පාදන පහළ යෑම, විරැකියාව, ආදායම පහළ වැටීම, හා තොග හා සිල්ලර වෙළෙඳාම පහලට වැටීම එහි ප්‍රධාන ලක්ෂණ වන්නේය. රනිල් කියන ලෙස 2% වර්ධනයක් තව වසර තුනක් පවත්වා ගෙන යන ලද්දේ වුව ද, අපට ධන 3% ක වර්ධන වේගයක් ලබා ගත හැකි වන්නේ 2026 දී ය.

නමුත්, රනිල්ගේ ණය ප්‍රතිව්‍යූහගත සැලැස්මට අනුව 2028 දී නැවත ගෙවන්නට වෙන දේශීය ණය කන්ද මෙන්ම ඒ වන විට අපට ගෙවන්නට වෙන ප්‍රතිව්‍යුගත විදේශ ණය ප්‍රමාණය දෙස බැලු කල 3% ක වර්ධන වේගයක් මගින් පිරිනැමෙන ආර්ථික ශක්තියක් මඟින් එවැන්නක් සිදු කළ හැකිදැයි ප්‍රශ්නගත ය. එසේ නොවන්නට අපට නැවතත් බංකොලොත්භාවය 2028 දී ප්‍රකාශයට පත් කරන්නට සිදුවනු ඇත. ඒ අනුව බලන කල අප සිටින්නේ ගිනි කන්දක් උඩය.

තත්ත්වය එසේ තිබිය දී රනිල්-අනුර-සහ සජිත් අපට කියන්නේ තමන්ට රට ගොඩනැගීමට බලය ලබා දෙන ලෙස පමණ ය. රටට අවැසි ධනය උත්පාදනය කරන්නට බලාපොරොත්තු වන මුලෝපාය කුමක්දැයි රටට ස්ථිරසාරව කියන්නේ නැත. ඔවුන් රඟන්නේ සාත්තරකරුවන්ගේ භූමිකාවය.

රනිල් කියන්නේ තමන් රටේ ප්‍රාථමික ගිණුම පියවන්නට මහ බැංකුව සමඟ ක්‍රියා කරන බව ය. නමුත් වෙළෙඳ ශේෂය අඩු කරන්නට නිෂ්පාදන ආර්ථිකය වැඩි කරන්නේ කෙසේදැයි ඔහු අපට කියන්නේ නැත. තමන් ප්‍රාථමික ශේෂය අඩු කිරීමට ගන්නා බොහෝ පියවර තුලින් විරැකියාව වැඩිවී, නිෂ්පාදන ද, වෙළෙඳාම ද, ආදායම ද හැකිලෙන බව සිතන්නේ නැත.

කොටින්ම රනිල්ට සෘණ ආර්ථිකයකින් රට එපිටට ගෙන යාම සඳහා පිළිතුරක් පවතින බව අපට නොපෙනෙන්නේ ය. අනුර කුමාර වෙනුවෙන් ජවිපය හා ජාජබය කියන්නේ තමන් ආර්ථිකයකට මුල් තැන ලබා දෙන බව ය. එම ආර්ථිකය මෙහෙයවන්නේ සමාජවාදී ආර්ථික මූලධර්ම මත බව ද ඔවුන් කියා සිටින්නේය. නමුත් එවැනි ආර්ථිකයක් තුල ධනය උත්පාදනය කරන්නේ කෙසේදැයි ඔවුන් තවමත් රටට පැහැදිලිව කියන්නේ නැත.

මේ අතරේ සජිත් කියන්නේ කුමක්දැයි රටට තවම පැහැදිලි නැත්තේය. සජිත් කරන්නේ හර්ෂ-එරාන් සහ කබීර් කියා සිටින ප්‍රතිපත්තීන් නම් එය කිසි ලෙසකටවත් රනිල්ගේ ප්‍රතිපත්තියට වෙනස් නොවන්නේය. සජිත් ක්‍රියාත්මක කරන්නට යන්නේ නාලක ගොඩහේවා කියන ප්‍රතිපත්තිය නම් එය ගෝටා-ලක්ෂ්මන්-කබ්රාල්ගේ මුලෝපායන්ගෙන් වෙනස් වන්නේ කෙසේදැයි තවදුරටත් බලාසිටිය යුත්තකි. මේ දෙපාර්ශයම අතහැර සජිත් ක්‍රියාත්මක කරන්නට යන්නේ තමන්ගේම හා තම පියාණන්ගේ දශක දෙකකට පෙර ක්‍රියාත්මක කල මුලෝපායන් නම් රටට දෙයියන්ගේම පිහිටය. ඒ අන් කිසිවක් නිසා නොව සජිත්ගේ සුභසාධන ප්‍රතිපත්තිය රට තව දුරටත් බංකොලොත් කිරීමට හේතුවනු ඇති අතර ප්‍රේමදාසගේ ග්‍රාමීය ආර්ථිකය නැංවීමට ඇඟලුම් කර්මාන්තය ගෙන ආවා වැනි මුලෝපායන් තවදුරටත් වර්තමාන ලෝක ආර්ථිකය තුල වලංගු මුලෝපායන් නොවන නිසා ය.

මේ ආකාරයට හසරක් නැතිව කතරක රටක ගෙන යන්නට තතනන දේශපාලන සමාජයක් පවතින රටක පුරවැසි සමාජයද තමන් අත්විඳින ඛේදජනක ඉරණමෙන් මිදීමට දරනු ලබමින් සිටින ප්‍රවේශය ද, හාස්‍ය ජනකය. ඔවුන් සිටින්නේ දියසේන කුමාරයකු තමන් බේරා ගන්නට ඉදිරියට පැමිනෙන තුරු ය. වරෙක මොවුන් ගෝටාබයට චන්දය භාවිතා කරන ලද්දේද මෙලෙසට ය.

ලාංකික ඡන්දදායකයා පසුගිය 75 වසරක් තුළ ඡන්දය ලබා දුන්නේ තම විරෝධාකල්ප මත පමණ ය. සැමවිටම තමන් පාලනය කරන ලද යකා පරාජය කරන්නට කටයුතු කල ද, ඉදිරියට එන්න නියමිත රකුසා කව්රුන්දැයි සොයන්නට ගියේ නැත. සැමවිටම මෙරට පුරවැසියා සිදු කලේ සන්නිවේදනය හා මාධ්‍ය මගින් පුම්බන නායකයකු හා පක්ෂයක් බලයට ගෙන ඒමයි.

අර්බුදයට ලක්වු සමාජයක් මෙවරත් එය නැවතත් පුනරුච්ඡාරනය වුවහොත් කිවහැකි වන්නේ වරෙක ඛේදවාචකයක් වු දෙයක් නැවත නැවත් එලෙසටම සිදුවීම තුලින් රට පුර්ණ වශයෙන් විගඩමක් බවට පත්වන බව පමණකි. ඒ අනුව ඒ රටේ අනාගතය තාර්කික දේශපාලනයකට නතුවෙනු ඇද්ද නැද්ද පිලිබඳව ඇත්තේ ප්‍රාර්ථනයක් පමණකි. එම ප්‍රාර්ථනය තම සිත් තුළ රඳවා ගත යුත්තේ 2024 චන්දය ලබා දෙන මෙරට පුරවැසියා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *