පන්ති පහ හතරට බැස්සූ අනුරගේ ඉන්දියන් ගමන

පන්ති පහ හතරට බැස්සූ අනුරගේ ඉන්දියන් ගමන

චීන කොමියුනිස්ට් පක්ෂයට හිතවත් මතවාදයක් දැරූ විජේවීර, ඉන්දු – චීන ගැටුම් වර්ධනය වන විට චීනයේ පැත්ත ගත්තේය. 1967 දෙසැම්බර් ඓතිහාසික කලැත්තෑව සාකච්ඡාවෙන් පසුව පන්ති පහට ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ එන්නේ එතැනිණි. කැරලිකරුවන් 1977 සිරගෙදරින් නිදහස් වන විට ජවිපෙ ‘ඉන්දියන් ව්‍යාප්තවාදයේ සටන් පාඨය’ වාෂ්ප වී තිබුණි. ඒ බව විජේවීරගේ වචනයෙන්ම මෙසේය.

‘ඉන්දියානු ප්‍රශ්නය ගත්තොත් මාඕ සේතුංගෙ තර්ක එහෙම දාලා චීන – ඉන්දීය මතභේදය උඩ චීන පිලේ ෂන්මුගදාසන් පොත් ගහලා තිබුණා. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන චීන තානාපති කාර්යාලය ගහපු සිංහල පොත් තිබුණා. චීනය පැත්තෙන් ඒ තර්ක ගොඩනඟල තිබුණේ. ඉන්දියානු ව්‍යාප්තවාදය කියන මතය ආවේ එතැනින්. මම (විජේවීර) ස්වයං විවේචනය කරල පස්සෙ ඒ මතයෙන් බැහැර වුණා.’

1981 සංවර්ධන සභා ඡන්දයට දිස්ත්‍රික්ක 8කින් තරගකොට ඡන්ද 3,27,149ක් ලැබූ සහ ජවිපෙ සභිකයින් 13ක් තෝරා පත් කරගත් ඡන්ද ව්‍යාපාරයේ ඉන්දියන් විරෝධයක් තිබුණේම නැති තරම්ය.

‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තයක් බවට පත් කිරීමට ඉඩ නොදෙව්’ ජවිපෙ සටන් පාඨය රටේ තැන තැන ප්‍රදර්ශනය වූයේ 1986 ජුනි මාසයේ දී ය. ඒ වනවිට ඉන්දියාව ලංකාවේ බෙදුම්වාදීන්ට තමිල්නාඩුවේ කඳවුරුවල පුහුණුව ද, අවි ආයුධ ද ලබා දෙමින් තිබුණි.

රෝහණ විජේවීර ප්‍රකට ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ (1986) කෘතියේ දැක්වෙන්නේ, ‘දකුණු ඉන්දියාවේ ‘මුම්මුඩ චෝල මංඩලම්’ යනුවෙන් යළි පිහිටුවීමට නියමිත චෝල අධිරාජ්‍යයට ලංකාවේ ‘උතුර’ ඈඳාගැනීමේ උපායමාර්ගයක් බව ය.

1970 තිබූ ඉන්දියන් විරෝධය, 1977 වන විට තිබුණේ නැත. 1981 නැති ඉන්දියන් විරෝධය 1986 දී පිටාර ගලා ගොස් 1987 වන විට රට ලේ විලක් බවට පත් කිරීමට හේතු විය.

1987 ජුනි 3 ඉන්දීය ගුවන් ආක්‍රමණයත්, බෝට්ටුවලින් යාපනයට ආහාර හා ඖෂධ තොගයක් එවීමෙන් පසුව ‘ඉන්දියාව ගුවනින් පරිප්පු දැම්මා. ඊළඟට ගොඩබිමින් ඇවිත් ලංකාව ආක්‍රමණය කරනවා’ යැයි ජවිපෙ අනතුරු ඇඟවීය. රට තුළ ඉන්දියන් විරෝධය ව්‍යාප්ත වන විට, ජනතාව දිනා ගැනීමේ පහසුම උපක්‍රමයක් ලෙස ඉන්දියන් විරෝධය යොදා ගැනීම ජවිපෙ උපක්‍රමය විය.

ඉන්දීය සාමසාධක හමුදාවට ‘ඉන්දියන් වඳුරු හමුදාව’ ලේබලය ගැසීම එහි ප්‍රචාරක උපක්‍රමය විය. ප්‍රේම්කුමාර් ගුණරත්නම්ගේ (ත්‍රිකුණාමලය) සන්නද්ධ ක්‍රියාකාරීත්වය, ජවිපෙ හා ඉන්දීය විරෝධය අතර, ඇට සහ ඇටමිඳුළු තරම් බන්ධනයක් ගොඩනැඟීය.

සිංහල, බෞද්ධ, තඹුත්තේගම ගොවිගම අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් මන්ත්‍රීතුමන්ලා ඉන්දියාවට ගිය විට බොහෝ දෙනා සිහියට නඟන්නේ ද, ජවිපෙ ක්‍රියාකාරීන්ට සමාජ මාධ්‍යයේ උසුළු විසුළු කරන්නේ ද, මාලිමාවේ උදවිය සටහන් ලියන්නේ ද, මේ දිගු මතකය නිසාය.

අනෙක් අතට, ‘අපේ ඉන්දියන් විරෝධයක් හෝ ඉන්දියන් ව්‍යාප්තවාදය’ ගැන භීතිකාවක් නැතැයි ජවිපෙ කියන්නේ ද මේ මතකය නිසාය.

ජනපති ආර්. ප්‍රේමදාස, 1989 ජුනි 1 දින චිත්තවිවේකාරාමයේදී ඉන්දියන් හමුදාව මෙරටින් ඉවත් කර ගත යුතු බව ප්‍රකාශ කළ විට, ජවිපෙ ඉන්දියන් විරෝධී සටන් පාඨයේ හුළං බැස්සේය.

1994 න් පසුව නැවත සංවිධානය වූ ජවිපෙට 1987 තිබූ ඉන්දියන් විරෝධය තිබුණේම නැති තරම්ය. 1989 දෙසැම්බර් සෝමවංශ අමරසිංහට ලංකාවෙන් බෝට්ටුවෙන් ඉන්දියාවට පැන යන්නට ද, ඔහුගේ පවුලේ සමාජිකයින්ට ගුවන් මඟින් ඉන්දියාවට යන්නට පහසුකම් සකසා දුන්නේ මාතලේ උපන් දැන් කොටහේනේ පදිංචි හෙන්රි වික්‍රමසිංහ හෙවත් වික්‍රමසිංහම් නොහොත් සෙල්වා ය. සෝමවංශගේ බිරිය හා දරුවන් ගුවනින් බොම්බායට රැගෙන ගිය සෙල්වා යළි ලංකාවට පැමිණ සෝමවංශ ඉන්දියාවට රැගෙන ගියේ බෝට්ටුවෙනි. හමුදා නිලධාරීන්ගේ සහායෙන් බෝට්ටුවකින් සෝමවංශ ඉන්දියාවට ගොඩබසින විට, සෙල්වා ඔහු පිළිගන්නට වෙරළේ සිටියේය. (පසුව සෙල්වා ද, සේනක සිල්වා හෙවත් ෂා හෙවත් ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ස්වාමියා ද, මේ සම්බන්ධයෙන් සිරගත විය)

දෙවැනි කැරැල්ලේ ඉන්දියන් විරෝධය

ජවිපෙ දෙවන කැරැල්ලේ දී විරුද්ධවාදීන් 6,661ක් මරා දමනු ලැබීය. එයින් 1,783ක් එජාපයේ ය. එයට අමතරව, රාජ්‍ය නිලධාරින් හා සේවකයින් 485ක්, පොලිස් හා ආරක්ෂක අංශ 688ක්, සරසවි සහ පාසල් සිසුන් 187ක්, පොලිස් පවුල් සාමාජිකයින් 92ක්, හමුදා පවුල් සාමාජිකයින් 70ක්, විදුහල්පතිවරු 52ක්, ශ්‍රීලනිප සාමාජිකයින් 200ක් පමණ මහජන පක්ෂයේ 141ක්, කොමියුනිස්ට් පක්ෂයේ 43ක්, නසසප 24ක්, සමසමාජ 22, ජනතා සංගමය 19කි. එය දැවැන්ත විනාශයක් විය.

එයට අමතරව ‘ඉන්දියන් වඳුරු හමුදාවේ’ නිලධාරීන් හා සෙබළුන් 29ක් ද ඝාතනය කළේය.

දෙවන කැරැල්ලේ ඉන්දියන් විරෝධයේ පරිමාව, ඝාතන සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 6,661න් කුඩා පංගුවකි. නමුත් එහි සමාජ, ආර්ථික, දේශපාලන බලපෑම අතිමහත් විය.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසුව ජවිපෙ කීවේ ලංකාවෙන් 30%ක් ද, වෙරළින් 60%ක් දෙමළ බෙදුම්වාදීන්ට අයත්වන බවයි. 1990 මාර්තු 24 ඉන්දියන් හමුදාවේ අවසන් භට කණ්ඩායම ත්‍රිකුණාමලයෙන් ඉන්දියාව බලා පිටත්වන තෙක්ම ජවිපෙ මෙම ස්ථාවරය නඩත්තු කළේය.

විජිත රෝහණ විජේමුණි විසින් රජීව් ගාන්ධිට පහරදීමේ වගකීම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය භාරගත්තේය.

රණසිංහ රන්දූව මුදියන්සේලාගේ අජිත් කුමාර පාර්ලිමේන්තුවේ කාමරයක දී ජනපති, අගමැති ඉලක්ක කර කර ගැසූ බෝම්බයෙන් කීර්ති අබේවික්‍රම මන්ත්‍රීවරයා ද, පාර්ලිමේන්තුවේ සේවක නෝබට් සේනාධීර ද ඝාතනය කිරීමේ වගකීම ද භාර ගත්තේය. ජවිපෙ නිවේදනයක සඳහන් වූයේ ‘ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වන සියලු දෙනාම ද්‍රෝහීන්’ බව ය. ‘ශ්‍රී ලංකාවට පැමිණි අන්තිම ඉන්දියන් සෙබළා ශ්‍රී ලාංකික අන්තිම දේශද්‍රෝහියාගේ බඩවැලෙන් එල්ලා මරාදමන බවට’ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනය කළේය.

ඉන්දීය භාණ්ඩ වර්ජනය කරන ලෙස 1989 මැයි 14 දින ජවිපෙ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සියලුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට ලංකාවෙන් පිටවෙන ලෙස නියෝග කළේය.

සියලුම ඉන්දියන් භාණ්ඩ ආනයනය ද තහනම් විය. මයිසූර් පරිප්පු, බොම්බයි ලූනු අලෙවිය තහනම් කරන බව 1989 ජූලි 6 නුගේගොඩ පැවති ජනතා රැලියක දී ප්‍රකාශයට පත් විය. ඉන්දියන් ඖෂධ ගෙන්වීමේ වරදට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනි ග්ලැඩිස්ට් ජයවර්ධන මහත්මිය ඝාතනය විය.

කෝනේෂ්වරන් දේවාලයේ මුරට සිටි ඉන්දියන් සෙබළුන් දෙදෙනාට පිහියෙන් ඇන එක් අයෙකු ඝාතනය විය.

1989 මැයි 22 ත්‍රි’මලේ ඩොල්ෆීන් ජැටිය හෙවත් ඛනිජ තෙල් ජැටියේ දී පැති බෝම්බ දෙකකින් ඉන්දීය භටයින් 6ක් සහ මේජර්වරයකු ඝාතනය කළේය.

1989 මැයි 12 කන්තලේ-ත්‍රිකුණාමලය පාරේ බිම්බෝම්බයක් පුපුරුවා ඉන්දියන් හමුදා මේජර්වරයකු ඇතුළු 13ක් මරා දැමීය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් එහි වගකීම භාරගනිමින් ප්‍රකාශ කළේ ‘දේශය නිදහස් කර ගැනීමේ අරගලයේ ඓතිහාසික පියවරක් ඉදිරියට තබමින් බිම් බෝම්බ තාක්ෂණය උපයෝගී කොට ගෙන සිය සංවිධානයේ නැඟෙනහිර පෙරමුණ බළඇණිය විසින් මෙම ප්‍රහාරය සිදු කළ බවය. අවසන් ඉන්දියන් සෙබළාත් පලවා හැර මාතෘභුමියේ උතුම් නිදහස ස්ථාපිත කරනතුරු අරගලය ඉදිරියට ගෙන යන බව ය.

1989 ජූලි 25 ඉන්දු ලංකා ගිවිසුමේ දෙවන සංවත්සරය දිනයේ ඉන්දියන් සෙබළු 14ක් ඝාතනය විය.

1987 ඔක්තෝබර් 25 ජවිපෙ මහනුවර ඉන්දීය තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

ලංකා සහ ඉන්දියන් ආණ්ඩුවල නිල දත්ත අනුව ජවිපෙ විසින් ඝාතනය කළ ඉන්දීය සෙබළු ගණන 29කි. එසේ නමුත් ඉන්දීය හමුදාවේ සෙබළුන් 63ක් තම සංවිධානය විසින් ඝාතනය කළ බව 1989 සැප්. 05 රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ජවිපෙ සැලසුම වූයේ ඉන්දියාව සමඟ සියලු ව්‍යාපාරික සබඳතා නවතා දැමීම ය. ශ්‍රී ලංකාවේ සිටින සියලුම ඉන්දීය ව්‍යාපාරිකයින්ට රටින් පිටවන ලෙස නියෝග කර මෙරට සිටි ඉන්දීය ව්‍යාපාරිකයින් 11ක් ඝාතනය කළේය. පැලවත්න සීනි කම්හලේ එස්. කේ. බන්සාල් හා ඔහුගේ බිරිය (1988), පී. බී. අම්බිච්චි සමාගමේ හිමිකරු ඉලේතම්බි ශන්මුගම්, වැල්ලවත්තේ ඉලේතම්බි සුබ්‍රමානියම්, කේ. ගුණරත්නම්, මරදානේ හෙප්තුල්ලාබෝහි සමාගමේ අධ්‍යක්ෂ සබීර් හුසේන්, කොහුවල දී ඝාතනය වූ ආර්. නාගින්ද්‍රාස්, ඩි. කේ. සුන්දරම් හා පී. නඩාර් මීරමුණි යන අය ඝාතනය වූ අය අතර විය.

එක් අතකින් ඉන්දියානු හමුදාව, ඉන්දීය ව්‍යාපාරිකයින් ඝාතනය කර ඉන්දීය භාණ්ඩ අලෙවිකර වෙළෙන්දන් පවා ඝාතනය කරන අතරම, ජවිපෙ තවත් පැත්තකින් ‘රෝ ඔත්තු සේවය සමඟ’ සබඳතා ද පවත්වා ගත්තේය.

දෙවන කැරැල්ල අවස්ථාවේ දී ඉන්දීය තානාපති කාර්යාලයේ දකුණු කලාපය භාර නිලධාරියා ලෙස රෝ සංවිධානයේ ගුරුජික් සිං (සික් ජාතිකයෙකි) ද, උතුරු නැඟෙනහිර භාරව දෙමළ බ්‍රාහ්මණ වංශිකයෙකු වූ එස්. අයි. ශංකර් ද කටයුතු කළේය. ඔවුහු රිචඩ් ද සොයිසා හරහා ඩී. එම්. ආනන්ද සමඟ සබඳතා ගොඩනඟා ගත්තේය. එච්. බී. හේරත් සහ උපාලි ජයවීර රෝ සංවිධානය සමඟ සබඳතා ගොඩනඟා ගත් අනෙක් ජවිපෙ නායකයින් වූයේය. සෝමවංශ අමරසිංහ ඉන්දියාවට රැගෙන ගොස් එතැනින් රැකවරණ සහිතව එංගලන්තයට යාමට අවස්ථාව සැලසුණේය.

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණය ජය ගැනීමට හැකියාව ලැබුණේ යන්තම් ඡන්ද 180,000 කිනි. ජනාධිපතිවරණයේ කිසිවෙකුට සහාය නොදීමට තීරණයක කර සිටි ජවිපෙහි සහාය මහින්ද රාජපක්ෂ වෙත ලැබුණේ ඉන්දීය මැදිහත්වීම මත බව දේශපාලනයට සම්බන්ධ කිසිවෙකුටත් රහසක් නොවේ. උතුරේ එල්.ටී.ටී.ඊ. ඡන්ද වර්ජනය පැවැතිය ද, ජවිපෙ නොවන්නට 2005 මහින්ද රාජපක්ෂ දිනන්නේ නැත. ජවිපෙ සහාය පැවැතිය ද එල්.ටී.ටී.ඊ. ය නොවන්නට මහින්ද දිනන්නේ ද නැත. ඒ දෙකම සිදු කර දුන්නේ ඉන්දියාවයි.

වෙනස්වන දේශපාලන ප්‍රතිපත්ති

2014 මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ජවිපෙ සහාය ලබා ගැනීමට මලික් සමරවික්‍රමට හැකි වූයේ ද, ඉන්දීය පහසුකම් සැලසීමේ ප්‍රතිඑලයක් ලෙසිනි. එදා ද ඉන්දියාව උතුරු නැඟෙනහිර, වතුකරය සහ ජවිපෙ යන පාර්ශ්වයන් ත්‍රිත්වයම මෛත්‍රීපාලට සහාය ලබා දුන්නේය.

කාලයෙන් කාලයට දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති වෙනස් කිරීම ලංකා දේශපාලනයේ අලුත් දෙයක් නොවේ. එය අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි. 1987 පළමු පළාත් සභා ඡන්දය දමන පළමු 10 දෙනා ඝාතනය කිරීමටත්, ඇඟිලි කපා දමන්නටත් කටයුතු කළ ජවිපෙ පසුව පළාත් සභා මන්ත්‍රී ධුර ලබා ගත්තේය. ඡන්දය වර්ජනය කළ ශ්‍රීලනිප ය ද ඒ මාවතේම ගියේය.

1987 – 89 සමයේ එජාප ආධාරකරුවන් 6,661ක් ඝාතනය කළ ජවිපෙ, 2015 ජනාධිපතිවරණයේදී හා ඉන් පසුව යහපාලන රජය සමඟ එක්ව කටයුතු කළේය. විජය කුමාරතුංග ඝාතනය කළ ජවිපෙ, 2004 චන්ද්‍රිකා කුමාරතුංග සමඟ හවුල් ආණ්ඩු හදා, ඇමැතිකම් ද ලබා ගත්තේය.

දේශපාලන ප්‍රතිපත්ති යනු සජීවී වෙනස්වන දෙයකි. ජවිපෙහි ඉන්දියන් ව්‍යාප්තවාදී න්‍යාය හෝ ඉන්දියන් විරෝධය හෝ පමණක් කිසිදා වෙනස් නොවිය යුතු නැත.

විජේවීර ඉන්දියන් විරෝධයෙන් පක්ෂය අරඹා ඒ ගැන ස්වයං විවේචනයක් සිදු කර, නැවත ඉන්දියන් විරෝධයට ප්‍රවිෂ්ට වූයේය.

සෝමවංශ ඉන්දියන් විරෝධයකින් නායකයා බවට පත් වී, ඉන්දියාව සමඟ සැමවිටම එකට කටයුතු කළ ජවිපෙ නායකයා වූයේය.

අනුර කුමාර දිසානායක, සිය නායකත්ව කාලය පුරාම ත්‍රිකුණාමලයේ සාම්පූර් බලාගාරය, මන්නාරමේ සුළං විදුලි බලාගාරය, අදානි සමූහය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය, අමුල් කිරි කර්මාන්ත සමාගම, ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීම, කටුනායක, කොළඹ හා මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය, පුල්මුඩේ ඛනිජ වැලි නිධිය වැනි ව්‍යාපෘති දැඩි ඉන්දියන් විරෝධී ස්ථාවරයක සිට විවේචනය කළේය.

ජවිපෙහි නායකයන් වූ විජේවීර – සෝමවංශ දෙදෙනාටත් වඩා, එක දිගට ඉන්දියන් විරෝධය නඩත්තු කළේ 1968 තඹුත්තේගම උපන් සිංහල, බෞද්ධ, ගොවිගම අනුර කුමාර දිසානායකයි.

අතීතය කුමක් වුවත් ජවිපෙ නව ඉන්දීය සම්බන්ධතා ප්‍රවේශය රටක් වශයෙන් ලංකාවට අතිශයින් තීරණාත්මක ය. ආර්ථික, සමාජීය හා දේශපාලනිකව වැදගත්ය. ලංකාවේ ආර්ථික සමෘද්ධිය රැඳී පවතින්නේ ඉන්දියාවෙන් දුරස්වීමෙන් නොව, බද්ධවීම මත ය. ඉන්දියාව සම්බන්ධයෙන් ජවිපෙ නව ප්‍රවේශය ලංකා දේශපාලනයේ නව හැරවුමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *