IMF ගැන සජිත්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය. අනුර-IMF කතාව වහාම හෙළිකරනු!

IMF ගැන සජිත්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය. අනුර-IMF කතාව වහාම හෙළිකරනු!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබේ. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති අදාළ හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු පිරිසක් එක් ව සිටියේය.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩිකර ඇති බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා තිබේ. මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව, ගර්භණී කාන්තාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දී ඇත. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විපක්ෂ නායකවරයාගෙන් පෙරළා ප්‍රශ්න කොට ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවයන්, තමන් බලයට පත් වීමෙන් අනතුරුව වෙනස් කරනවාද යන්න ය.

එහිදී විපක්ෂ නායකවරයාගේ පිළිතුර වී ඇත්තේ එසේ ගිවිසුම වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ය. දැනට පවතින එකඟතා එලෙසම පවත්වාගෙන යාමට විපක්ෂ නායකවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග එකඟත්වය පල කොට තිබේ. නමුත් මෙහිදී ගැටළුවක් මතු වේ. එනම් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා ඇතුළු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිදු කරන ලද දැඩි විවේචනයයි. මරික්කාර් මහතා ප්‍රකාශ කළේ ‘රනිල් ඇති කරගත් එකඟතා’ තමන්ට අදාළ නොවන බව ය. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය හර්ෂ ද සිල්වලාට වැදගත් වුව ද, සමගි ජන බලවේගය ඊට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ය. මින් පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද, සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියත්, රනිල් ගෙන යන ධනවාදී ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියටත් තමන් එකඟ නැති බව ප්‍රකාශ කළේය. තමන් විශ්වාස කරන්නේ ධනවාදය පදනම් කරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට යැයි සමගි ජන බලවේගය කිහිප තැනකදීම කියා තිබේ. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ඇති කරගත් එකඟතාවන්ට පටහැනි අදහසක ය සජබ සිටියේ.

දැන් හිටිහැටියේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් දුටු සැණින් සජිත් ප්‍රේමදාස ක්‍රියා කර ඇත්තේ හාත්පසින් ම වෙනස් ආකාරයට ය. රටට, මහජනතාවට එකක් කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවේ තවෙකක් කතා කරන රටේ විපක්ෂ නායකයාගේ තත්ත්වය මෙසේ ය. මොහු රටේ නායකත්වයට සුදුසු ද? මේ දෙබිඩි ප්‍රතිපත්තිය කුමක්ද?

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ පවත්වා තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් අදාළ සාකච්ඡාව සඳහා එක්වී සිට ඇති බවද වාර්තා විය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.

කෙසේවෙතත්, මෙම හමුවේ දී සාකච්ඡාවට බඳුන් වූ කරුණු මෙතෙක් හෙළි ව නොමැති අතර, මින් පෙර සුනිල් හඳුන්නෙත්ති; ජාතික ජන බලවේගයේ ආර්ථික අංශය සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද සඳහන් කොට තිබුණේ, තමන් බලයට පත් වීමෙන් අනතුරුව ගිවිසුමකට එළඹෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තමන් විසින් ලබා දෙන එකඟතා/කොන්දේසි අනුව බව ය. ජනතා විමුක්ති පෙරමුණු වේදිකාවේ ඇසුණු අයිඑම්එෆ් විරෝධය දැන් එතරම් තීව්‍ර ව නැති නමුත්, ජාතික ජන බලවේග වේදිකාව ද කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ට අවශ්‍ය ආකාරයෙන් නම්මවා ගැනීමට තමන් බලයට පත් වූ විට කටයුතු කරන බවකි.

කෙසේවෙතත්, අයිඑම්එෆ්-එන්පීපී හමුවේ විස්තර මාධ්‍යයට මෙතෙක් වාර්තා වී නැත. එහිදී සාකච්ඡාවට ලක් වූ කරුණු සහ ජාතික ජන බලවේගය පාර්ශවයෙන් ප්‍රකාශ කළ දෑ අනාවරණය කිරීම එම පක්ෂයේ වගකීමයි. මන්ද ඉදිරියේ දී තමන් බලයට පත් වූ විට සිදු කරන දේ ගැන මහජනතාව දැනුවත් කිරීම ඔවුන්ගේ වගකීමකි. වහාම එම සාකච්ඡාවේ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු අතර, වේදිකාවේ කියන ගැලරි ටෝක්ස් ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට ද සූදානම් බව පෙනෙන්නේ ඒ අනුව බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *