J.Rට, විජේවීරට, ප්‍රභාකරන්ට, මහින්දට බැරි වූ දේ රනිල් කරයි !

J.Rට, විජේවීරට, ප්‍රභාකරන්ට, මහින්දට බැරි වූ දේ රනිල් කරයි !

ශ්‍රිලනිප ගමනක අවසානය කියලා රැස්වීම් මාලාවක් කෙරුවේ ජවිපෙ විජේවීරය.  ඒ 1982 සිටය.  ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, ක්‍රියාකාරීන් ඝාතනය කරමින් එය භෞතිකව ද කිරීමට දැරූ විජේවීරගේ උත්සාහ ය කෙලවර වූයේ ඔහුගේ ගමන අවසන් වීමෙනි.

ඊට පෙර සිටම ශ්‍රිලනිප ගමන නිමා කරන්නට විවිධ පිරිස් විවිධ උත්සහයන් ගෙන ඇති අතර 2024 මේ වෙද්දී ශ්‍රිලනිප ගමන තීරණාත්මක කෙලවරකට පැමිණ ඇත.

1959 දී තල්දූවේ සෝමාරාම වෙසින් එක්තරා බලගතු පිරිසක් බණ්ඩාරනායකට වෙඩි තබා උත්සාහ කලේද මතු වෙමින් ආ ශ්‍රිලනිප රැල්ල අවසන් කිරීමට ය. ඉන් බණ්ඩාරනායක අවසන් ගමන් ගියද සිරිමාවෝ ශ්‍රිලනිප  කොඩිය ඔසවමින් රැගෙන ගියාය.

සිද්ධ වෙන්න යන්නේ  මහා විශාල කරදරයක් බව වටහාගත් J. R  ජයවර්ධන ජනාධිපතිවරයා සිරිමාවෝ ගේ ප්‍රජා අයිතිය අහෝසිකර නැවත වරක් ශ්‍රිලනිප ය භූමදානය කරන්නට සැරසුනේය. එම උත්සාහය අතරට ජවිපෙ විජේවීර ගේ තුවක්කුවද ශ්‍රිලනිප යට එල්ල වූ අතර ප්‍රථිපලය වූයේ 17 වසරක් විපක්ෂයේ ලැගීමය.

1994 සිට චන්ද්‍රිකා ශ්‍රිලනිප යේ අත කරට ගෙන එය ජයග්‍රාහී මාවතේ රැගෙන යාමට සමත් වූවාය. ගත වූයේ වසර පහකි  , 1999 දී චන්ද්‍රිකාට බෝම්බ ගැසූ අතර ඇයගේ  ඇසක් අහිමිව ශ්‍රිලනිප ය බේරුනේ නැවත වරක් ජයග්‍රහණය ද සමඟය.

ඉන් අනතුරුව ශ්‍රිලනිප යට මහින්ද යුගය උදා වූ අතර 2015 වන තෙක් එහි පැවතියේ ජයග්‍රහණ පමණය. 2015 දීද ජනාධිපති වූයේ ශ්‍රිලනිප මහලේකම් වූ මෛත්‍රීපාල ය.

නමුත් අමතක නොකල යුත්තේ එදා මෙදා ශ්‍රිලනිප ජයගත් සෑම අවස්ථාවකදීම එය සිද්ධ වූයේ ඔවුන් මුල් වී නිර්මාණය කරන ලද සන්ධාන හරහා බවය.
වඩාත්ම ජනප්‍රිය සන්ධාන දෙක වූයේ 1994 පොදු ජන පෙරමුණ සහ 2004 එක්සත් ජනතා නිදහස් යය.

නැවත ශ්‍රිලනිපයට කණ කොකා හැඬලූයේ මහින්ද ලා අලුත් පක්ෂයක් නිර්මාණය කල විටය. පක්ෂය දෙකඩ වුන අතර එය ශ්‍රිලනිප ඉතිහාසය තුල අලුත් දෙයක් වූයේද නැත.  එබැවින්ම දෝ පක්ෂයේ සාතිශය බහුතර ය මහින්දලා රැගෙන ගියද ශ්‍රිලනිප ය බිඳවැටුනේ නැත. අවසන් මහ මැතිවරණයේදීද මන්ත්‍රීවරුන් විසි ගණනක් බිහි කර ගැනීමට එය පක්ෂයක් ලෙස සමත් විය.

එලෙස වෙඩිකාපු, වට්ටපු, කඩපු,  බෝම්බ කෑ පක්ෂය අද වන විට සී සීකඩ කරවීමට 2022 දී පිනා චාන්ස් එකක් මගින් බලයට ආ රනිල් වික්‍රමසිංහ කූට ලෙස දක්ෂ වී ඇත. ඒ ඔහුගේ ඊලඟ බල වුවමනාව වෙනුවෙනි. 

J.R ට, විජේවීරට, ප්‍රේමදාසට, ප්‍රභාකරන්ට, මහින්ද ට නොහැකි වූ දේ කිරීමට රනිල් වික්‍රමසිංහ ට හැකි වී ඇත.

අද වන විට ශ්‍රිලනිප කෑලි / පාර්ශව ගණනාවකි.  මෛත්‍රීපාල සිරිසේන පිරිසක් සමඟ එක තැනකය,  දයාසිරි තවත් කට්ටියක් එක්කය , අමරවීර – අලගියවන්න ලා වෙනමය, දුමින්ද දිසානායක හීනියට රනිල් ගාව ය.
එකම පක්ෂයට මහ ලේකම් ලා තුනකි, සභාපති ලා දෙන්නෙකි.  ජාතික සංවිධායක ලා දෙන්නෙකි.

පාක්ෂිකයන් ෆුල් අන්දොස් කරවා ඇති මේ අලකලංචිය ශ්‍රිලනිපයට කළේ අන් කවරෙකුවත් නොව රනිල් වික්‍රමසිංහ ය.

දැන් එහෙව් වික්‍රමසිංහ ශ්‍රිලනිප කඩා හැදූ පොහොට්ටුව සමඟ ජනාධිපතිවරණය ට එන්නට යයි. 
ශ්‍රිලනිප මරා විනාශ කරන්නට කැස කැවූ ජවිපෙ ජනාධිපතිවරණය දිනන මානයේය.

ශ්‍රිලනිප ක්‍රියාධරයන්,  පාක්ශිකයන්,  ඡන්ද දායකයන් අතරමං ය. කවදත් ශ්‍රිලනිප යට ඡන්දය දුන් මධ්‍යස්ථ මතධාරීයා අතරමංය.  ශ්‍රිලනිප සමඟ හැමදා සන්ධාන වලට එකතු වූ වාම බලවේග අතරමංය.

බෙදී වෙන්වී නොසිට නිදා සිටින ශ්‍රිලනිප යෝධයා ඇහැරවා කෙලින් කටින් සිටුවීමට තවමත් ප්‍රමාද වැඩි නැත.
පවත්වන්නට යන ජනාධිපතිවරණය ඊට අවස්ථාවක් කර ගත යුතුය.  එකතු කරගත හැකි සියලු බලවේග එකතු පහදු කරගෙන ශක්තිමත් සන්ධානයක් සාදා අනුරට ,සජිත්ට,රනිල්ට කෙලින් කටින් සිටගෙන මුහුණ දිය හැකි අපේක්ෂකයකු ඡන්දයට දැමීම හරහා රනිල් බෙල්ල මිරිකා පන නල යමින් ඇති ශ්‍රිලනිපය බේරා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *