Multiple Agent ? ජනපතිවරණයට. Plan B අගමැතිකම
සාමාන්‍යයෙන් එක පුද්ගලයෙකු හෝ එක කණ්ඩායමක් තෝරා ගෙන වැඩ කිරීම ශිෂ්ඨ සම්පන්න දේශපාලනයේ යෙදෙන්නන්ගේ ස්වභාවයයි. ඒ පුද්ගලයා හෝ කඳවුර නොගැලපේ නම් ඉන් ඉවත් වී වෙන කඳවුරක් තෝරා ගැනීම ඔවුන්ගේ ගති ලක්ෂණයයි.
එකිනෙකාට ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් වෙනුවෙන් වැඩ කරන්නා හඳුන්වන්නේ Double Agent කියාය. එකිනෙකම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් තුනක් තෝරා ගතහොත් ඔහු හඳුන්වන්නේ Triple agent කියාය. මේ ඩබල් හෝ triple agent ලා ලෙස වැඩ කරන්න හැමෝටම බැරිය. ඒකට පුදුමාකාර කපටිකමක් තියෙන්නට උවමනා ය. ඊටත් වඩා වැඩි එකිනෙකාට එරෙහි කණ්ඩායම් ගණනකට වැඩ කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නොවෙයි. එක දශමයක් මිස් වුනොත් වැඩේ සුනේ සුන්ය. ඒත් එක දශමයක්වත් මිස් කරගන්නේ නැතුව වසර කිහිපයක් එහෙම ගේමක් ගහනවා කියන්නේ ලංකාව වගේ රටක ජනාධිපති වෙන්නත් සුදුසුකමකි.
ඒක දන්නා නිසාමදෝ මේ මල්ටිපල් ඒජන්ට් ජනාධිපතිවරණ සූට් මසා ඇත. තව නොබෝ කාලයක් තුළ එය ඔබට දැක බලා ගන්නට හැකි වනු ඇත. සැලසුම දශමයකින් හෝ මිස් වුනහොත් ඔහුගේ plan B වන්නේ අගමැතිකම ලබාගැනීමය. ඒකට පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි එකසිය දහතුන එහා මෙහා කරගන්නට ඔහු සමත්ය. රනිල් කියන්නේ ගේම් කාරයෙක් ලෙස ප්රකටය. හැබැයි රනිල්ගෙ ජනාධිපතිවරණ කැම්පේන් එක සකස් කරන අඳින සියලු සැලසුම් කතා කරන අටදෙනා අතරටත් යන්නට ඔහු සමත් වී ඇත. රාජපක්ෂලා තවදුරටත් රනිල් සමඟ එකට ගසා තියන්නට ද සමත් වූයේ ඔහු ය.
එහෙම කරන අතරේ සමගි බලවේගයේ දේශපාලනය තීන්දු කරන, සජිත්ගේ ඔලුව වෙනස් කරන තිදෙනාගෙන් එක් අයෙක් වන්නටත් ඔහුට හැකි වී ඇති අතර, සමගියේ ප්රචාරක දැන්වීමකට පවා අවසර දෙන මට්ටමේ ඔහු සිටී.
රනිල් සජිත් එකට තියා පරද්දන බව කියන මාලිමාවේ අනුර ඇතුළු තීරණාත්මක කිහිපදෙනෙකුම හරහා එම පක්ෂය මෙහෙයවන පක්ෂයට පිටතින් ඉන්න තිදෙනා අතර ද මොහු සිටින්නේය.
රාජපක්ෂලා එක්ක ගැටුමක් හදාගෙන එළියට ආ විමල් වීරවංශගේ දේශපාලන කඳවුර ද තමන්ගේ ගෝලිය හරහා මෙහෙයවන්නට ඔහු සමත් ය.
රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආ තවත් දේශපාලන ගේම්කාරයකු වූ ඩලස් අලහප්පෙරුමට මේ පුගුලාගේ වැඩ හරියන්නේ නැති කොට අන් ආකාරයකින් ඔහු එතනින් ඉවත් කරගන්නට ඩලස් සමත් විය. ඔහු ඒකට දීපු රිටන් එක උනේ ඩලස්ගේ ‘නිදහස’ දෙකට කඩා ඩලස්ගේ කොටහක් නන්නත්තාර කිරීම ය.
මේ පුද්ගලයා විශ්වාස කරන රනිල් සජිත් ඇතුළු සියලු දෙනාම හිතන් ඉන්නේ ඔහු තමන්ට වැඩ කරන බවය. ඒත් ඇත්තටම ඔහු වැඩ කරන්නේ ඔහුට බව මේ කාටවත් නොතේරෙයි.
මේ සෙල්ලම කරගෙන යන්නට ඔහුටම කියා පුවත්පතක් ඇත. තමන්ට එරෙහිව එන්නන්ට මඩ අවලාද ගසා පැය විසි හතරෙන් ඔවුන් බිමට සමතලා කර දැමිය හැකියයි මොහු සිතයි.
මොහුගේ අලුත්ම ඉලක්කය විජේදාස රාජපක්ෂ ය.
ඔහු මෙහෙම කරන්න හේතුවක් ඇත. ලංකා බැංකුවට නොපියවූ රුපියල් බිලියන දෙකයි දශම අටකට වැඩි බැංකු පොල්ල නොගෙවා ඉන්න නම් මේ වගේ ගේමක් ගහගන්නට උවමනා ය. බ්‍රිතාන්‍යයට අයත් යුරෝපයේ දූපත් රාජ්‍යයක බදු දැලින් රිංගා අක්වෙරල ගිණුම්වල තැන්පත් කර ඇති ඩොලර් බිළියන ගණන් හෙළිවීම වළක්වා ගැනීමට මේ වගේ ගේම් ගහන්නට වුවමනා ය.
පොලිසියේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් ඒවාගේම වැදගත් අනිත් තැන් වලත් වැදගත් මහපුටු ටිකට මේ වන විට ඔහු තමන්ගේ මිනිස්සු දාගෙන හමාරය. හොරාට පොල් වත්ත බාර දුන්නා කියන්නේ මේ වගේ එකකි. දැන් පොල් වත්ත හොරා අතේ ය. මේ තැනැත්තාට එරෙහිව පාර්ලිමේන්තුව නිශ්ශබ්ද ය.
ජුනි මාසය වන විට ලංකාවේ කුඩු නැති කරනවා කියලා කිව්වේ මේ හාදයා ය. මහේස්ත්‍රාත් උසාවියක වරුවක් වාඩිවෙලා හිටියනම් යුක්තිය රෙද්ද පල්ලෙන් බේරෙන හැටි බලාගන්නට පුළුවන. කුඩු කවදාවත් දැකලා නැති පොඩි එවුන්ට ද කුඩු මිලි ග්‍රෑම් එකක් දමා නඩු පටලවා ඇති අයුරුත් උගත් විනිශ්චකාරවරු පොලිසියට දෙසන අයුරුත් පත්තර වල පිටු පුරා ලියවෙන්නැති එකේ මිනිස්සු කොහේ දැනගන්නද? යුක්තියේ නම අවභාවිතා කරමින් ප්රවෘත්ති විකාශයන් තුලට බේගල් පත්තු කරවමින් ඔහු ගැහුවේ ගේම් එකකි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකාරයෙකු කළ පුද්ගලයා පොලිස්පති පුටුවේ වාඩිකර තමන්ට වුවමනා පරිදි අවශ්‍ය කටයුතු කර ගන්නට වැටක් ගසා ගන්නට ය.
දැනටමත් ඔහු නොනිල වශයෙන් අගමැති පුටුවේ වාඩිවෙලා ඉවරය. රනිල් සජිත් කඳවුරු දෙකම අස්ථාවර කරමින් රාජපක්ෂලාගේ ද ආශිර්වාදයෙන් පොදු අපේක්ෂකයා වීම ඔහුගේ සිහිනය යි.
තමන්ගේ අතින්ම කොටින්ට සල්ලි දී රනිල් පරදවා මහින්ද දිනවූ හැටි ඔහු පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නොබියව කිව්වේය. වෙන මිනිහෙක් ඔහොම උනානම් ත්රස්තවාදයට අනුබල දීමේ වරද යටතේ ඉන්න හිරේය. එහෙම කරපු තමන් නීතිය බාර ඇමතිවරයා වෙන කොට ජනාධිපති වෙන්න හීන දැකීම අරුමයක් නම් නොවේ. ඇරත් නන්දසේන වගේ පොරකුත් පට්ට වැඩ්ඩෙක් යැයි සිතා ජනාධිපති කරගත්තු රටේ කුඩු හා පාතාලයේ මඩිනවාය කිව්වාම මේ වගේ පොරකටත් ජනාධිපති වෙන්න බැරිකමකුත් නැතැයි කෙනෙක්ට හිතෙන්නට පුළුවන.
කොහොම නමුත් ඔහු ගැන කියවා ගන්නන් අනුව රනිල් දින්නත් සජිත් දින්නත් අනුර දින්නත් අගමැති පුටුවේ වාඩිවෙන්නේ ඔහු ය. ඔහු මල්ටිපල් ඒජන්ට් ලෙස වැඩ කරන්නේ අන්න ඒකට ය. කොහොමටත් ඔහුත් සමඟ ඩීල් කරපු බොහෝ දෙනෙකුට ඔහුට එරෙහිව වචනයක් කියන්නට බැරිය. එහෙම කිව්ව දාට එය මරාගෙන මැරෙන දේශපාලන බෝම්බ ප්‍රහාරයක් වගේ වේ විය.
ඔය පක්ෂ දෙක තුනේම දේශපාලන ඔස්තාර්ලා මේ ගේම් කාරයා එක්ක හැප්පෙන්නේ නැතිය. ඒකට ගටක් තියෙන්නට ඕනෑය. මේ පක්ෂ කිහිපයේම එහෙම ගටක් තියෙන මෙයාත් එක්ක ඩීල් නොදාපු කෙනෙක් හොයාගැනීම ට වඩා කලුනික හෙවීම ලේසි වනු ඇත.
ජුනි ජූලි වෙනකොට මේ නාටකයේ හොඳම ටික දැක බලාගන්නට පුළුවන් වේවිය. ඉතිහාසයේ නම් මල්ටිපල් ඒජන්ට්ලා කෙලවාගෙන තිබේ. මා මේ මල්ටිපල් ඒජන්ට් ගේම් එක ප්ලේ කරන දෙස නෙත් අයාගෙන බලා සිටිමි.